Gossips

20, විවාද කිරීමේ තීන්දුවට යළි පක්ෂ නායක හමුවක්

ගැසට් කරන ලද විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කෙරෙන දිනය ඉදිරියේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ එහිදී විවාද කෙරෙන දින වකවානු මෙන්ම ඊට එක් කෙරෙන සංශෝධන සම්බන්ධයෙන්ද අවධානය යොමුකරනු ඇති බවයි.
මේ අතර විසිවන සශෝධනයට සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් සියලූ පක්ෂ නායකයන් සමඟ කඩිනමින් සාකච්ඡා ආරම්භ කිරීමට බලාපාරොත්තු වන බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කළේ.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරනු ලැබුවේ පසුගිය ජූලි 9 වනදායි.
එය ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය මැයි මස 25 වනදා කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දෙනු ලැබුවා.
මෙම ව්‍යවස්ථා සංශෝධනයට අනුව විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපතිවරයෙකු බවට පත් කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍යයේ, නායකයා මෙන්ම සේනාධිනායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජනාධිපතිවරයායි. කෙසේ වෙතත්, ආණ්ඩුවේ ප්‍රධානියා සහ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අග්‍රාමාත්‍යවරයා නම් කර තිබෙනවා.
ජනාධිපතිවරයා තෝරා ගනු ලබන්නේ මහජන ජන්දයෙන් නොවන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයගේ කැමැත්තෙන් එම තෝරා ගැනීම සිදු කිරීමටයි යෝජනා කර ඇත්තේ.
අමාත්‍ය මණ්ඩලය නම් කිරීම, කොමිෂන් සභා වලට නිලධාරීන් පත් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පත් කිරීමේ බලය ද විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගෙන් ඉවත් කර තිබෙනවා.
ජනාධිපති ධුර කාලය වසර 05කට සීමාවන අතර ධූරය දරණ කාලසීමාව තුල ජනාධිපතිවරයා කිසිදු දේශපාලන පක්ෂයකට නායකත්වය හෝ සාමාජිකත්වය නොදැරිය යුතුයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්මත කරන ලද පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලතල ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීම 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ද ඇතුලත්.
මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් මෙය සම්මත විය යුතු වනවා.
යම් හෙයකින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් එය ක්‍රියාත්මක වනු ලබන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් පසුවයි.