Gossips

ඉන්දියාව, මත්තල ප්‍රතික්ෂේප නොකළ බව රජය කියයි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පාලන හිමිකාරීත්වය අත් කර ගැනීමට ඉන්දියාවේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවට ඉන්දීය රජය මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පාලන හිමිකාරීත්වය අත්කර ගැනීමට ඉන්දියාවේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවට ඉන්දීය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වීම සම්බන්ධයෙන් කළ විමසීමකට අනුවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරු සහ ඉන්දීය ගුවන් තොටුපළ අධිකාරීයේ නිලධාරීන් සමඟ සාකච්ඡා 4ක් මේ වන විට පවත්වා ඇති බවයි.
ඉන්දීය ලෝක් සභාවේදී එරට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ජයන්ත් සිංහා වෙත පැනයක් යොමු කරමින් ලෝක් සභා මන්ත්‍රිනී පුනම් මහජන් විමසා ඇත්තේ මත්තල ගුවන් තොටුපළ අත්පත් කර ගැනීම සඳහා ඉන්දීය ගුවන් තොටුපළ අධිකාරියේ සූදානමක් ඇත්ද යන්නයි.
එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බව එරට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ජයන්ත් සිංහා ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පෙන්වා දී ඇත්තේ මෙම අවස්ථාවේදී එවැනි යෝජනාවක් සැලකිල්ලට නොගන්නා බවයි.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ඉන්දීය ලෝක් සභාවේ සංවාදය පිළිබදව වාර්තාවක් ගෙන එන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සදහන් කළේ 2013 වසරේ මාර්තු මාසයේ විවෘත කෙරුණු මත්තල ගුවන් තොටුපොළ ලොව වඩාත්ම පාඩු ලැබූ සහ හිස් ගුවන් තොටුපොළක් බවයි.