Gossips

මත්තල අත්පත් කර ගැනීමේ අදහසක් නැහැ – ඉන්දියාව කියයි.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පාලන හිමිකාරිත්වය අත්කර ගැනීමට ඉන්දියාව අපේක්ෂා නොකරන බව ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ වුණා.
ඒ ඉන්දීය ලෝක් සභාවේදී භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීනි පූනම් මහජන් යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.
ඇය ප්‍රශ්න කර සිටියේ මත්තල ගුවන්තොටුපල අත්පත් කර ගැනීම සඳහා ඉන්දීය ගුවන්තොටුපල අධිකාරියේ සැලසුමක් පවතින්නේ ද යන්නයි.
එහෙත්, එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බව ඉන්දීය සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ජයන්ට් සිංහා ප්‍රකාශ කළා.
මේ අවස්ථාවේදී එවැනි යෝජනාවක් සැලකිල්ලට නොගන්නා බව ඔහු කියා සිටියා.
මත්තල පියාසර පුහුණු පාසලක් සහ ගුවන් යානා නඩත්තු වැඩ පොළක් ඉදිකරන්නේ ද යන්න පිළිබඳව නැගුණු ප්‍රශ්නයට ද ඔහු ලබාදී ඇත්තේ ඍණාත්මක පිළිතුරක්.
2013 වසරේ මාර්තු මාසයේදී විවෘත කෙරුණු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ලොව වඩාත්ම හිස් ගුවන්තොටුපල ලෙස හඳුන්වන බව ද ඉන්දීය පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ සංවාදය පිළිබඳ වාර්තාවක් ගෙන එන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළා.