Gossips

රණවිරු දායකත්වය ගැන ජනපති කතා කරයි

පරිසර අමාත්‍යංශය තමන් යටතට පවරා ගනු ලැබුවේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශීර්වාදය හිමිවීම වැළැක්වීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පසුගිය වසර 50 ක කාලය තුල මෙරට සිදුවූ දැවැන්ත පරිසර විනාශයේ ප්‍රධාන වගකීම ගෙන ඇත්තේ ඇතැම් දේශපාලනඥයන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
දේශපාලන බලය පදනම් කර ගනිමින් සිදුවු එම ව්‍යසනය ජාතියේ අවාසනාවක් බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියා.
ජාතික නාමල් උයනේ සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.
මෙරට වන ඝනත්වය සියයට 29 ක් පමණ අඩු මට්ටමක පවතින අතර එම ප්‍රමාණයෙන් ද සියයට 1.4 ක ප්‍රමාණයක් වාර්ෂිකව විනාශවන බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි ඔහු කියාසිටියේ.
නිසි වැඩපිළිවෙලක් සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ඔස්සේ මෙම අයහපත් තත්වය වැලැක්වීමට සියලුදෙනා කඩිනමින් එක්විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.
රණවිරුවන් රටේ සංවර්ධනයට මෙන්ම ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සදහා ද පුළුල් දායකත්වයක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී සඳහන් කළා.