Gossips

දුම්රිය නොදන්වා නවතී – මගීන් නොසන්සුන්

දුම්රිය ස්ථානාධිපති, පාලක සහ රියදුරු ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් අද පස්වරු 2 ට හදිසි වර්ජනයක් ආරම්භ කිරීම නිසා දුම්රිය ගමන්වාර අවලංගු වීමෙන් මගීන් දැඩි අපහසුතාවයට පත් වුණා.
වර්ජනය පස්වරු 4 දක්වා ක්‍රියාත්මක වූ බවයි වෘත්තීය සමිති සදහන් කළේ.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් පිළිබදව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සිදුකරන ලද ප්‍රකාශයකට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කළ බවයි දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
දුම්රිය වෘත්තීය සමිති නගන චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වාගෙන් ද විමසීමක් කළා.
අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳව සඳුඳා දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.
එහිදී ඊට අදාළව තීන්දුවක් ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.
කෙසේ වෙතත්, දුම්රිය වෘත්තීය සමිතිවල මෙම හදිසි වර්ජනය නිසා මගීන් අපහසුතාවයට පත්වීමත් සමග මරදාන, කොටුව, රාගම සහ ලූණුවිල යන දුම්රිය ස්ථානවල ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
මරදාන දුම්රිය ස්ථානයේ මගීන්ගේ නොසන්සුන්තාව හේතුවෙන් එහි දේපලවලට ද හානි සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.