Gossips

රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් ගැන යෝජනාවක්

බන්ධනාගාරගත වී සිටින රැඳවියන් අතර වැඩියෙන් පොත්පත් කියවන සහ ඔවුන් විසින් කියවූ කෘති සම්බන්ධව යම් ආකාරයක විචාරයක් ඉදිරිපත් කිරීමේ අවස්ථා ඇති කර ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී අධිකරණ අමාත්‍යවරිය සමග එක්ව සකස් කර ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පලකළේ වැලිකඩ බන්ධනාගාරයේ අද (26) පැවතී උත්සවයකට එක්වෙමින්.
එමෙන්ම බන්ධනාගාර 10 ක පුස්තකාල ඉදිකිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හරහා කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ බන්ධනාගාර රැදවියන්ට ත්‍රිපිටකය, බයිබලය, කුරාණය ආදී ආගමික පොත්ද, මහාවංශය පන්සිය පණස් ජාතක පොත මෙන් ම නෙල්සන් මැන්ඩෙලාගේ චරිතාපදාන ද මනෝ විද්‍යාව සහ සාහිත්‍ය කෘති ඇතුළත් බන්ධනාගාර රැඳවියන්ගේ පුනරුත්ථාපනයට සහ මනෝ සංවර්ධනයට දායක විය හැකි පොත් පත් මෙම පුස්තකාල වලට ලබා දෙන බවයි.