Gossips

ලන්ඩන් යාමට කටුනායකට පැමිණි ධම්මාලෝක හිමියන් ගුවන් යානයෙන් බස්සවයි

ආගමික වැඩසටහනකට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවර බලා වැඩම කිරීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ආගමන විගමන නිලධාරීන් විසින් යලි හරවා යවා තිබෙනවා.
ඒ උන්වහන්සේට විදෙස් ගතවීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක සඳහන් දිනය පිළිබඳව ඇති වූ ගැටළුවක් හේතුවෙන්.
ඕමාන් එයාර් ගුවන් සමාගමට අයත් යානයකින් ලන්ඩන් නුවර බලා වැඩම කිරීමට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ අද උදෑසනයි.
ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවීමට අවසරයක් නොමැති බව ගුවන් තොටුපළ නිලධාරීන් පළමුව පවසා ඇති අතර පසුව සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව උන්වහන්සේට ගුවන් යානයට ඇතුළු වීමට අවසර ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් ගුවන් යානය පිටත් වීමට ටික වේලාවක් තිබියදී නැවතත් උන්වහන්සේට විදෙස් ගත වීමට අධිකරණයෙන් ලබාදුන් නියෝගයක ඇති දිනය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පවතින බවයි ආගමන විගමන නිලධාරීන් පවසා ඇත්තේ.
ඒ අනුව තමන් වහන්සේ නැවත විහාරය වෙත වැඩම කළ බවත් මේ වනවිට නීතිඥයන් මේ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය දැන ගැනීමට අධිකරණය වෙත ගොස් ඇති බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටියා.
නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප ලබා දීමේදී විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා.
කෙසේ වෙතත් උන්වහන්සේ අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තහනම තාවකාලිකව ඉවත් කෙරුණේ අගෝස්තු මස 26 වනදා සිට ඔක්තොම්බර් 12 දක්වා කාලය සඳහායි.
අප මේ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අධිකරණයෙන් කරනු ලැබූ කරුණු විමසීමකට අනුව මෙම තීරණයට එළඹි බවයි.