Gossips

පළාත් සභා ජන්ද ක්‍රමය ගැන සාකච්ජාවට රැස්වූ පක්ෂ නායකයින් තීරණයක් නොමැතිව විසිර යයි

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති පක්ෂ නායක රැස්වීම එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
ඊට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ ෆයිසර් මුස්තාෆා එක්වුණා.
ඊට අමතරව පක්ෂ නායකයින් වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, ඩග්ලස් දේවානන්දා, පාඨලී චම්පික රණවකද සහභාගිවූ රැස්වීමේදී තීරණය කර ඇත්තේ ලබන බදාදා අරලියගහ මන්දිරයේදී රැස්වී මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමටයි.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතු බවට අදහස් දක්වා තිබෙනවා.
අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, ඩග්ලස් දේවානන්දා සහ රවුෆ් හකීම් සඳහන් කර ඇත්තේ මැතිවරණ සංශෝධනය කිරිම සඳහා කාලය ගතවන බැවින් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක, නව මැතිවරණ ක්‍රමය සංශෝධනය කර මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනා කළ බවයි අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.