Gossips

විජයකලාගෙන් පොලීසිය පැය තුනහමාරක් ප්‍රශ්න කරයි – මාවෙයිගෙනුත් පැය 2 ක ප්‍රකාශයක්

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගෙන් අද (24) ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
යාපනයේ පිහිටි විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ නිවසේදී පැය තුනහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගත් බවයි එහි ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
උතුර පළාතේ මේ වනවිට කාන්තා සහ ළමා අපචාර වැඩි වශයෙන් සිදුවන හෙයින් තමන්ට ඇතිවූ ආවේගාත්මක හැඟීම් මත අදාළ ප්‍රකාශය සිදුකළ බවට ඇය මෙහිදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගෙන්ද පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි එම කොට්ඨාශයේ නිලධාරියෙකු කියා සිටියේ.
මීට අමතරව තවත් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද ඔහු සදහන් කළා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය 02 වැනිදා යාපනයේදී ප්‍රකාශ කළේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ එක් අදියරකට එක්වෙමින්.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය වජිර අබේවර්ධන, උතුර පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් ඇතුළු 40කට අධික පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා තවදුරටත් කියා සිටියේ ප්‍රකාශ සටහන් කිරීම අවසන් වීමෙන් පසු සිය නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන බවයි.