Gossips

බෙල්ලන්විල හිමියන්ගේ හදිසි මරණ පරීක්ෂණය ගැන, අධිකරණයට පැමිණිල්ලක්

අපවත්වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීම පිළිබඳව අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ නීතිඥ ඉරේෂා සමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ බොරලැස්ගමුව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් උන්වහන්සේගේ දේහය පිලිබඳව මරණ පරීක්ෂණය සිදුකර ඇති බවයි.
පසුගිය 2 වනදා විහාරස්ථානයේදී හදිසි අනතුරකට ලක්වූ බෙල්ලන්විල නාහිමියන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ – නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.
එහිදී උන්වහන්සේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 3 වන දා අපවත් වූ අතර, දේහය පිළිබඳව මරණ පරීක්ෂණය සිදුකළේ බොරලැස්ගමුව හදිසි මරණ පරීක්ෂකවරයා විසිනුයි.
කෙසේ වෙතත්, හිමියන් අපවත් වූයේ තම අධිකරණ බල ප්‍රදේශය පිහිටි රෝහලක දී බැවින් එම මරණ පරීක්ෂණය තමන් විසින් සිදුකළ යුතු බවයි ඇය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට සහ අධිකරණ අමාත්‍යාංශයට පැමිණිලි කළ බව ද කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ නීතිඥ ඉරේෂා සමරවීර වැඩිදුරටත් කියා සිටියා.