Gossips

සන්ධානගතවීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ – ඇමති අමරවීර

පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමේදී වෙනත් දේශපාලන පක්ෂයක් සමග සන්ධාන ගතවන්නේද, නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණය පක්ෂය සමඟ සාකච්ඡා කර ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.
එමෙන්ම අතිරේක ලැයිස්තුවේ නම් කරන සභිකයින් පත් කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිළ වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙතෙක් දැනුම් දීමක් සිදුකර නැහැ.
එය ලද පසු පත් කිරීම් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තීරණයක් ගන්නා බවයි සන්ධාන මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මේ අතර, සන්ධානයට බලය හිමිව තිබූ මෙවර මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හම්බන්තොට මහ නගර සභාවේ බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරන බවයි එහි හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ.
ඒ සඳහා තමන් ද සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට මහනගර සභාව සඳහා තරඟ කළ එහි හිටපු නගරාධිපතිවරයෙකු වන ගාමිණී ශ්‍රී ආනන්ද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයට මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා බහුතර බලයක් ලැබී නොමැති අතර, ඒ සඳහා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ සභිකයෙකුගේ නමක් යෝජනා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.
කොළඹ අධිකරණයේ විභාග වන නඩු කටයුත්තකට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සන්ධානගතවීමක් පිළිබදව තවමත් තීරණය කර නැහැ.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මැතිවරණයේ ප්‍රතිඵල අධ්‍යයනය කරමින් අනතුරුව ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය සතු වූ තවත් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා ද බහුතර බලයක් නොමැතිවීම නිසා බලය පිහිටුවීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක නුවරඑළියේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ලංකා කම්කරු කොංග්‍රසය සමඟ සන්ධානගතවීමට සාකච්ඡා සිදුකරන බවයි.