Gossips

මොරගහකන්ද – කළුගඟ ජලාශයට ජලය පිරවීම ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතියෙහි කළුගඟ ජලාශයට ජලය පිරවීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් අද පෙරවරුවේ සිදු කෙරුණා.
මාතලේ – කළුපහන ප්‍රදේශයෙන් ආරම්භවන කළුගඟ, ලග්ගල – පල්ලේගම ප්‍රදේශයේදී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය කර තිබෙනවා.
අක්කර අඩි දෙලක්ෂ අටසිය අසූවක ජල ධාරිතාවකින් යුත් මෙම ජලාශයේ ප්‍රධාන වේල්ලේ දිග මීටර 618 ක් වන අතර, උස මීටර 68 ක්.
කළු ගඟ පහල නිම්න ප්‍රදේශයේ පදිංචි කිරිමට නියමිත පවුල් 3000ක් සදහා මෙම කළුගඟ ව්‍යාපෘතියෙන් ජලය සැපයෙනු ඇති.
පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්කර 2000ක් පමණ භූමි ප්‍රමාණයක් වගා කිරිම සඳහා අවශ්‍ය ජලය සැපයීමෙන් පසු අතිරික්ත ජල ප්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීමට සැළසුම් කර තිබෙනවා.
මේ අතර මොරගහකන්ද ජලාශය, කුලසිංහ ජලාශය ලෙස නම් කිරීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා.
මෙරටට අනන්‍ය වූ නව තාක්ෂණික ඉදිකිරීම් ක්‍රම නිර්මාණය කළ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ඉංජිනේරුවාණන් සිහිපත් කිරීම සඳහා ඔහුගේ නමින් මෙම ජලාශය නම් කර තිබෙනවා.
එමෙන්ම මොරගහකන්ද – කළු ගඟ ව්‍යෘපෘතිය මගින් මෙගාවොට් 25 ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර, මොරගහකන්ද වේල්ලේ කෙළවර නෙළන ලද අඩි 27 ක් උසැති ශෛලමය අවුකන බුදු පිළිමයේ අනුරුව වන්දනාමාන කිරීම සඳහා නිරාවරණය කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිවරයා අතින්.
එමෙන්ම මොරගහකන්ද කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝමීටර 9 ක් දිගැති උමඟේහි ඉදිකිරිම් කටයුතු ජනාධිපතිවරයා විසින් අද ආරම්භ කළ අතර එය සැලකෙන්නේ දකුණු ආසියාවේ ඉදිවන ජලය රැගෙන යන දිගම උමං මාර්ගය ලෙසයි.
මෙම ඇළ මාර්ගය මගින් කළුගඟ ජලාශයේ පිරෙන ජලය, තත්පරයට ඝන මීටර 35 ක් මොරගහකන්ද ජලාශයට රැගෙන යාම සිදු කෙරෙනවා. මෙය වසර 3 ක් තුළ ඉදිකිරීමට නියමිතයි.