Gossips

දුම්රිය තාක්ෂණ සේවකයෝත් අකුරට වැඩ

පැය හතළිහේ වැඩ සතිය සහ දිරිදීමනා ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය තාක්ෂණ නිලධාරින් සහ තාක්ෂණ සහයක ශිල්පීන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් සහ දුම්රිය අවලංගු වීම් සිදුවිය හැකි බවයි දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.බී.එස්. කමල් පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මෙම වර්ජනය හේතුවෙන් මෙතෙක් දුම්රිය ධාවනයට බාධා එල්ලවී නොමැති බවයි.
මේ අතර, අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජනයක නිරතවීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එහි සම ලේකම් ඞී.වී. ශාන්ත සිල්වා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ බදාදා වනවිට ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය අනුමත කිරීම සහ ප්‍රවාහන ගාස්තු මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර නොගතහොත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.