Gossips

ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන ඇමති වජිරගේ නිවේදනය ගැන මතභේදාත්මක තත්ත්වයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන නිකුත් කළ නිවේදනය පිළිබදව මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා.
අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ සදහන් කර ඇත්තේ ගාල්ල මහජන ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් නොකරන බවයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් කිහිපයක් හේතුවෙන් ගාලු කොටු පවුර ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සිදුවන බවට යුනෙස්කෝ සංවිධානය අනතුරු අගවා ඇති බව පසුගිය දිනවල වාර්තා වුණා.
ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව චෝදනා කළේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය සැලැස්මක් ක්‍රියාත්මක කරන බවටයි.
මේ අතර, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, අමාත්‍ය වජිර අබේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ගාල්ල පොදු මහජන ක්‍රීඩාංගණය කිසිසේත්ම වෙනස් නොවන බවයි.
මෙම නිවේදනයෙන් අමාත්‍යවරයා වෙනස් නොවන බව හඳුන්වා දී ඇත්තේ මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයක් වන ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය නොව පොදුමහජන ක්‍රීඩාංගණයයි.
ගාල්ල ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 31ක් මේ වන විට පවත්වා ඇති අතර, එය ගාල්ල පොදු මහජන ක්‍රීඩාංගණය ලෙස අමාත්‍ය වජිර අබේවර්ධනගේ නිවේදනයේ සෑම තැනකම දක්වා තිබෙනවා.
අමාත්‍යවරයාගේ මෙම මාධ්‍ය නිවේදනයෙන් වැටහෙන්නේ එම ස්ථානයෙන් ඉවත් නොවන්නේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය නොව ගාල්ල මහජන ක්‍රීඩාංගණය පමණක් වන බවයි.