Gossips

බලංගොඩ දරුවා, තවමත් අතුරුදන් – දිවියාගෙන් අනතුරක් වූවාදැයි සැක

දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටින බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ දස හැවිරිදි දරුවා සෙවීමේ කටයුතු තවමත් ක්‍රියාත්මකයි.
මේ වන විට එම මෙහෙයුම් සඳහා යුද හමුදාවේ භට කණ්ඩාමක් ද සමනලවත්ත ප්‍රදේශයට ගොස් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ සමනලවත්ත විද්‍යාලයේ පස්වන ශ්‍රේ‍ණියේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙක්.
පසුගිය 20 වන දා දරුවාගේ පියා දර කැඩීමට අසළ වනයට ගොස් ඇති අතර, පසුව දරුවා ද පියා සිටින ස්ථානයට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් තිබෙනවා.
එහෙත් පියා දර රැගෙන නැවත නිවස වෙත පැමිණ සිය පුතු පිළිබදව විමසීමේදී දරුවාගේ මව ප්‍රකාශ කර ඇත්තේ දරුවා ද දර කැඩීම සඳහා වනයට පිටත්ව ගිය බවයි.
කෙසේ වෙතත්, එදින සිට මේ දක්වා දරුවා පිළිබදව කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.
ප්‍රදේශවාසීන් සදහන් කරන්නේ බලංගොඩ – සමනලවත්ත ආශ්‍රිතව දිවියන් පසුගිය දින කිහිපය තුළ සැරිසැරූ බවට දක්නට ලැබුණු බැවින් දරුවාට දිවියාගෙන් අනතුරක් සිදුවූවා ද යන්න සැක පවතින බවයි.