Gossips

ගාලූ ක්‍රීඩාංගණය ගැන දෙසතියකින් වාර්තාවක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරඟ නොපවත්වන ලෙස යුනෙස්කෝව දැනුම්දීමක් සිදුකර නොමැති බව, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් පිළිබඳව පළවන වාර්තා සම්බන්ධයෙන් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා සභාවේ අවධානය යොමු කිරීමත් සමඟයි.
එහිදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේ මේ පිළිබඳව සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදීම සඳහා නිලධාරීන් කණ්ඩායමක්ද පත්කර ඇති බවයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බවත්, මතභේදයට ලක් වූ ක්‍රීඩාගාරය පමණක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ක්‍රියාත්මක වීමත් සමග ක්‍රීඩාංගනය ද එම ස්ථානයෙන් ඉවත් වන බවට රාවයක් පැතිරුණා.
ඒ සම්බන්ධයෙන් විවිධ අංශ අදහස් දැක්වූ අතර, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය දැනට පවතින සුවිශේෂී ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත්නම් එම තීරණය යළි සලකා බලන ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද රජයෙන් ඉල්ලා සිටියා.
ට්විටර් පණිවුඩයක් මගින් ඔහු සදහන් කළේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සටහන් රැසක් තැබූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කරන්නේ නම් එය කණගාටුදායක කරුණක් බවයි.
මේ අතර, ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමට යන බවට වාර්තා පළ වීමත් සමඟ අද ක්‍රීඩාංගනය වටා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට අත නොතබන ලෙසට සඳහන් කරමින්.
මේ අතර, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ ඉදිකර ඇති එම ක්‍රීඩාගාරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ගාල්ල මහ නගර සභාව ද දැඩි විරෝධයක් පළ කරනවා.
ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ නගර සභාව මගින් වසර පුරා බදු දී ඇති ක්‍රීඩාගාර ගොඩනැගිල්ල ඉවත් කිරීමෙන් නගර සභාව දැඩි අපහසුතාවකට ලක්වන බවයි.
ඔහු සඳහන් කළේ හෙට දිනයේදී ගාල්ලේ ජනතාව ක්‍රීඩාංගණය රැක ගැනීමට සැලසුම් කර තිබූ විරෝධතාව එලෙසම සිදුකරන බවයි.