Gossips

කරාපිටිය හෘද සැත්කම් යළි ඇරඹේ

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් යළි ආරම්භ කළ බව එම රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අලූත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ හෘද සැත්කම් සිදුකිරීමට තමන් තීරණය කළ බවයි.
වායු සමීකරණ පද්ධතිය අලූත්වැඩියා නොකිරීමට විරෝධය පළ කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් නතර කෙරුණේ පසුගිය මස 14 වනදායි.
හෘද රෝගීන් සැත්කම්වලට භාජනය කිරීමෙන් අනතුරුව, රෝගීන් ඇතුළත් කෙරෙන්නේ මෙම දැඩි සත්කාර ඒකකයට වන අතර, එලෙස ඇතුළත් කෙරුණු රෝගින් කිහිපදෙනෙකු පසුගිය මාසයේදී විෂබීජ ශරීර ගතවීම නිසා මියගියා.
මෙම මරණවලට හේතුව රෝහලේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අක්‍රිය වීම බව පසුව අනාවරණ වුණා.
මේ අතර කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් ඒකකයේද අලූත්වැඩියා කටයුතු නිරන්තරයෙන් සිදුවන බවට වාර්තාවනවා.