Gossips

ශ්‍රී ලංකා – ජෝර්ජියා සබඳතා තර කර ගැනීමට අවධානය

ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර පවතින මිත්‍ර සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමුවී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජෝර්ජියාවේ තුනසදින නිල සංචාරක නිරතවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජෝර්ජියා ජනාධිපතිවරයා අතර අද පැවැත්වු සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව නායක හමුව සඳහා සහභාගී වීමටයි මෛත්‍රිපාල සිරිසේන මහතා ජෝර්ජියාවේ සංචාරයකට එක්ව සිටින්නේ.
දෙරට අතර පවතින ආර්ථික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමුවී තිබෙනවා.
ඊට අවශ්‍ය සාකච්ඡා ඉදිරියට ගෙන යාමට නිලධාරීන්ට උපදෙස් ලබාදෙන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත්තේ.
ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද මෙහිදී රාජ්‍ය නායකයන් දෙපළගේ විශේෂ අවධානයක් යොමුවුනා.
එමෙන්ම ජෝර්ජියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුනා.
ජෝර්ජියා ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා සෑම අංශයකින්ම ඉහළ නංවා ගැනීමට ඉතා කැමැත්තෙන් පසුවන බවයි.