Gossips

මත්පැන් බෝතලයේ තිබුනේ වතුර බව අනුරාධපුරේ පියා කියයි

මත්පැන් ලේබලයක් සහිත බෝතලයකට දමා තිබූ වතුර තමා විසින් සිය දරුවාට පෙවූ බවට මාස 13ක සිඟිති දරුවෙකුට මත්පැන් පෙවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියා විසින් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව සැකකාර පියා පොවා ඇත්තේ වතුර ද මත්පැන් ද යන්න සොයා බැලීම සඳහා අදාළ දරුවා අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මාස 13ක සිඟිති දරුවෙකුට මත්පැන් පොවන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනවල සිටින එම දරුවාගේ පියා ඇතුළු 04 දෙනා අද (18) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හිරු ප්‍රවෘත්ති ඔස්සේ අදාළ වීඩියෝ දර්ශනය මීට පෙර විකාශය කළ අතර ඒ අනුවයි පොලීසිය එම දර්ශනවල සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගත්තේ.
පසුව අනාවරණ වුණේ ඔවුන් අනුරාධපුර – මීගලෑව – ගනන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
මේ අතර ළමයින් කෲරත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ වරදකරුවන් වන පුද්ගලයෙකුට වසර හත දක්වා වූ සිරදඬුවමකට යටත් කළ හැකි බව නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කළා.