Gossips

සිඟිති දරුවාට මත්පැන් පෙවූ පියා ඇතුළු සිව්දෙනා අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට

මාස 13ක සිඟිති දරුවෙකුට මත්පැන් පොවන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනවල සිටින දරුවාගේ පියා ඇතුළු 04 දෙනා අද (18) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හිරු ප්‍රවෘත්ති ඔස්සේ අදාළ වීඩියෝ දර්ශනය මීට පෙර විකාශය කළ අතර ඒ අනුවයි පොලීසිය එම දර්ශනවල සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගත්තේ.
පසුව අනාවරණ වුණේ ඔවුන් අනුරාධපුර – මීගලෑව – ගනන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
මේ අතර ළමයින් කෲරත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ වරදකරුවන් වන පුද්ගලයෙකුට වසර හත දක්වා වූ සිරදඬුවමකට යටත් කළ හැකි බව නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කළා.
ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.
මේ අතර, ළමයින් කෲරත්වයට භාජනය කිරීමේ වරදට මේ වසරේ මුල් මාස 05 තුළ පැමිණිලි 48 ක් පොලිසියට වාර්තා වී ඇති අතර, 2017 වර්ෂයේ එලෙස ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 98 ක්.