Gossips

ඔලුවිල් සරසවියේ 17 කට පන්ති තහනම් – 4 ක් ගෙදර යවයි

පළමු වසර සිසුන් පිරිසකට නවක වදය ලබාදීමේ සිද්ධියක් මුල් කරනිමින් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 17 දෙනෙකුගේ පන්ති තහනම් කර, සිසුන් හතරදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කර තිබෙනවා.
එසේම දඩුවම් පැමිණවූ සිසුන්ට ඊයේ පස්වරු 6 ට පෙර නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස දැනුම්දී තිබුණත් ඔවුන් ඉවත් නොවීම හේතුවෙන් පාලනාධිකාරිය අක්කරෙයිපත්තුව පොලීසියට පැමිණිල්ලක්ද සිදු කළා.
කෙසේ වෙතත් ඊයේ දහවල් පොලූ මුගුරු රැගෙන නේවාසිකාගාර වෙත ගිය විශ්වවිද්‍යාල ආරක්ෂකයින් ඇතුලූ පිරිසක් එම සිසුන් එහි රැඳී සිටින්නේදැයි සෝදිසි කළ බවට සඳහන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණා.
කෙසේ වෙතත් පන්ති තහනමට ලක්වූ හෝ ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන්ගෙන් කිසිවෙක් එම අවස්ථාවේ නේවාසිකාගාරවල රැඳී සිට නැහැ.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයද කොළඹ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර කියා සිටියේ මහපොළ ශිෂ්‍යාධාරය නිසි වේලාවට ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවයි.
මේ අතර තම අධ්‍යයන සුබසාධන ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුණා.
එහිදී විරෝධතාවයේ නිරත සරසවි සිසුන් සහ පොලීසිය අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවුණා.
එමෙන්ම විභාගවලට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් වූ ගැටළුවක් හේතුවෙන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාාරිය අද පියවර ගත්තා.
සිසුන් පිරිසකට සියයට 80ක පැමිණීම සනාථ කිරීමට නොහැකි වීම මත විභාගවලට ඉදිරිපත්වීමට ඉඩ ලබා නොදීමටයි පාලන අධිකාරිය පියවරගෙන තිබුණේ.
ඒ හේතුවෙන් සිසුන් දිගින් දිගටම විරෝධය පළ කිරීමත් සමඟ මෙලෙස ඉංජිනේරු පීඨය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.