අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය විසින් සිදුකර ඇති මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශණවලදී හෙළිවී තිබෙනවා.
මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන ඇගේ සැමියාගේ සහ නගර සභා කාර්යාලයේ සේවක සේවිකාවන් 4 දෙනෙකුගේද සහය මෙම වංචාව සිදුකිරීම සඳහා අදාළ කාන්තාවට හිමිව ඇති බවයි මහ නගර සභාවේ ගණකාධිකාරීවරයා සිදුකරන විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
වංචා කළ මුදලින් අදාළ කාන්තාව සුඛෝපභෝගී මෝටර් රථයක් සහ අනුරාධපුර ගුවන් තොටුපල මාර්ගය අසළ රුපියල් ලක්ෂ 35 ක් වටිනා ඉඩමක්ද මිලදී ගෙන තිබෙනවා.
එසේම සැමියා සහ සිය දරු දෙදෙනා සමඟ ඇය මෑතකදී නුවරඑළියේ හෙලිකොප්ටර් සවාරියකද නිරතවී ඇති බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
පවුලේ සාමාජිකයින් සමඟ මෑතකදී සිංගප්පූරුවේ විනෝද චාරිකාවක ගොස් ඇති මෙම කාන්තාව එහිදී උපන්දින සාදයක්ද පවත්වා තිබෙනවා.
මෙම කාන්තාව දීර්ඝ කාලයක් මෙම මුදල් වංචාව සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ඇය සහ ඇගේ සැමියා ඇතුලූ හයදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන කියා සිටියේ.