Gossips

ඒකාබද්ධයේ රණවීරට මසක් පාර්ලිමේන්තු තහනම් වන ලකුණු

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට මසක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කිරීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.
ඊයේ (16) රැස්වූ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේදී මේ පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි එම කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට අදාළව පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඊයේ මෙම වරප්‍රසාද කමිටුව හමුවට කැදවා තිබුණා.
ස්ථාවර නියෝග 77 තුන වගන්තිය ප්‍රකාරව සෙංකෝලය පාර්ලිමේන්තුවේ සභා ගර්භය ඇතුළත තබා තිබෙන අවස්ථාවක එය ස්පර්ශ කිරීම හෝ එසවීම හෝ මගින් බරපතල විනය විරෝධී ක්‍රියාවක් සිදුකරනු ලබන යම් මන්ත්‍රීවරයෙකු විසින් එම වරද සිදුකරනු ලබනුයේ පළමු වරට යන කාරණය නොසලකා ඔහුගේ පාර්ලිමේන්තු සේවය සති 04 කට අත්හිටුවිය හැකියි.
විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය 03 වන අඟහරුවාදා පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ විරෝධතාවක නිරත වුණා.
එහිදී සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කරන ලද බවටයි ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වුණේ.
කෙසේ වෙතත්, වරප්‍රසාද කමිටුවේ තීරණය සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නොමැති බවයි මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර කියා සිටියේ.
ඊයේ රැස්වූ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ අද (17) දිනයේදී කථානායක කරු ජයසූරිය වෙත භාරදීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල සඳහන් කළා.