Gossips

අධිවේගී මාර්ගයේ මෝටර් රථ 5ක් ගැටේ, වේගය ගැන සැළකිලිමත් වන්නැයි උපදෙස්

දිවයිනේ නිරිතදිග කොටසට බලපා ඇති වැසි තත්ත්වයේ අඩුවීමක් අනිද්දායින් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ 25 වන කිලෝමීට කණුව අසළදී මෝටර් රථ 3 ක්, කැබ් රථයක් සහ බවුසරයක් එකිනෙක ගැටී අද (16) උදෑසන අනතුරක් සිදුවුණා.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි වාර්තාවන්නේ.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය ධාවනය කිරීමේදී සැළකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.
එහි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්ෂ එස්. ඕපනායක රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ මෝටර් රථවල විදුලි පහන් දල්වා රිය පදවන ලෙසයි.
මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල අවට ප්‍රදේශයේ අද (16) අලුයම පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ගුවන් තොටුපල වෙත ගොඩබෑමට නියමිතව තිබූ යානා දෙකක් මත්තල ගුවන් තොටුපල වෙත යොමු කෙරුණා.
හිරු ගුවන් තොටුපල වාර්තාකරු ප්‍රකාශ කළේ ඩුබායි සහ ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා දෙකක් මෙලෙස මත්තල ගුවන් තොටුපල වෙත ගොඩබැස්සවූ බවයි.
අද (16) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තාවුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්.
එය මිලිමීටර 79.8 ක්.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට ඇද හැලෙන වැසි හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් මේ වනවිට විවෘත කර තිබෙනවා.
වර්ෂාපතනය සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ මාර්ගවල ඝන මීදුම් තත්ත්වයක් පවතින නිසා රථවාහන ධාවනය කිරීමේදී සැළකිලිමත් වන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම්දෙන්නේ.