Gossips

අරණායක – අසුපිනි ඇල්ලේ සැඟව ගිය ජීවිතය සොයා තවදුරටත් මෙහෙයුම් (ඡායරූප)

අරණායක – අසුපිනි ඇල්ලෙන් ඇද වැටී පසුගිය 14 වනදා පස්වරුවේ අතුරුදන්වූ තරුණයාගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව පොලිසිය පවසනවා.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ අරණායක, කාල්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි ධම්මික සම්පත් කුරුවිට නමැති 32 හැවිරිදි, කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක්.
නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායමක් සහ ප්‍රාදේශවාසීන් එක්ව අතුරුදන්වූ තරුණයාගේ සිරුර සොයා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
දිය ඇල්ලේ ජල මට්ටම වැඩිවීම මෙහෙයුම් කටයුතු වලට බාධාවක් වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
අදාල තරුණයා තවත් මිතුරන් තිදෙනෙක් සමඟ අසුපිණි ඇල්ලේ දිය නෑමට පැමිණ ඇති අතර එහිදී ඡායාරුපයක් ලබා ගැනීමට යාමේදී ලිස්සා ගොස් ඇල්ලෙන් පහළට වැටී අතුරුදන්ව තිබෙනවා.
ප්‍රාදේශවාසීන් පවසන්නේ මෙලෙස අසුපිනි ඇල්ලෙන් පහළට ලිස්සා ගොස් මිට පෙර 14 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
ඇල්ලෙන් පහළට වැටුනු පසු පහළ කොටසේ ඇති ජලයෙන් වැසී ගිය ගල් කුහරයක් වැනි ස්ථානයකට ඇදී යන බවත් එම ස්ථානයට වැටුණු අයෙකු මීට පෙරද සොයා ගැනීමට හැකිවුයේ දින දෙක තුනකට පමණ පසු බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නව කුරුදුවත්ත පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා.


ඡායාරූප – හෙම්මාතගම, සමන් විජය බණ්ඩාර