Gossips

කිලිනොච්චි දිවියා ගැන තවත් හෝඩුවාවක්

කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී කුරිරු ලෙස ඝාතනයට ලක්වූ දිවියා පිළිබඳ මරණ පරීක්ෂණයේදී එම සත්වයා වනාන්තරයේ ජීවත්වූ සත්වයෙකු නොවන බවට සැක මතුවන සාධක පවතින බව වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය පවසනවා.
ඔහු පවසන්නේ මෙම දිවියාගේ ශරීර ලක්ෂණ සළකා බැලීමේදී කිලිනොච්චිය වැනි ප්‍රදේශයක පවතින දේශගුණය යටතේ හැදී වැඩුනු සත්වයෙකුගේ ලක්ෂන පෙන්නුම් නොකරන බවයි.
එය සාමාන්‍ය තත්ත්වයක් නොවන බවද ඔහු කියා සිටියා.
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී කුරිරු ලෙස දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව පසුගියදා ඇතිවූයේ දැඩි කථාබහක්. සිද්ධිය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ මුලින්ම පුළුල් සංවාදයක් ඇතිවූ අතර, එහි වීඩියෝ දර්ශනයක්ද ඇතුළත් වුණා.
මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් පොලීසිය සැකකරුවන් පස්දෙනෙකු හඳුනාගත් අතර, කිලිනොච්චි මහේ්ස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.
ඒ අනුව දිවියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අම්බාල්කුලම් ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි සැකකරුවෙකු සහ කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරුවලට අනුවයි සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ.
වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය සිදුකරන මෙම අනාවරණයත් සමඟ මෙම දිවියා කැලයේ සිට ගම්මානවලට පැන මිනිසුන් සපා කෑ බවට එල්ලවූ චෝදනා පිළිබඳව මතුවන්නේ පරස්පර අදහසක්.