Gossips

මරණ දඩුවම ගැන මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි

මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීමේ තීන්දුව අහෝසි කරන ලෙස දැඩි අවධානයෙන් සහ ගෞරව පූර්වකව ඉල්ලා සිටින බව සදහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එහි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගමගේ අත්සනින් යුතු එම ලිපියෙහි දැක්වෙන්නේ මරණ දඬුවම අහෝසි කර මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීම සඳහා ප්‍රබල හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති මාලාවක් සකස් කරන ලෙසයි.
අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාර තුළ සිට එම ජාවාරමේ යෙදෙන්නේ නම් ඔවුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා රජය තීරණය කිරීම පිළිබඳව මානව හිමිකම් කොමිසම දැඩි කණස්සල්ල පළ කරනවා.
රටේ ප්‍රබල ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීමට ප්‍රධාන සාධකය වී ඇත්තේ ජාවාරම්කරුවන් හා දේශපාලනඥයින් අතර පවතින සබඳතාව බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.
එම නිසා නිසි ආමන්ත්‍රණයක් සිදු නොකර, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තුළින් මත්ද්‍රව්‍ය උවදුර රටෙන් පළවා හැරීමට නොහැකි බවද මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.