Gossips

බස්, පාසල් වෑන් සහ ත්‍රිරෝද රථ යළි මිල වැඩි කිරීමකට සැරසේ

ඉන්ධන, ටයර්, ටියුබ්, ටේප් මිල ගණන් පහළ නොදමන්නේ නම් බස්ගාස්තු ජාතික ප්‍රතිපත්තියට පටහැනිව ඉදිරියේදී බස්ගාස්තු සංශෝධනයකට යාමට සිදුවන බව බස් සංගම් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මේ බව කියා සිටියා.
මාධ්‍ය හමුවට එක්වෙමින් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති එන්.එම්.කේ.හරිස්චන්ද්‍ර කියා සිටියේ පවතින තත්ත්වය වෙනස් නොවන්නේ නම් ලබන සැප්තැම්බර් වනවිට ගාස්තු සංශෝධනයකට යාමට සිදුවන බවයි.
ලංකා ස්වයංරැකියා වෘත්තීකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ගාස්තු වැඩිවීමක් ද අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත්, ත්‍රිරෝද රථ වෘත්තීකයින්ගේ ගැටලූවලට විසදුම් ලබාදෙන බවයි ඊයේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ.
මේ අතර, ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් අද ප්‍රථම වතාවට විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග අද වේයන්ගොඩ ප්‍රදේශයේදී අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ මහා භාණ්ඩාගාරයට අවශ්‍ය පරිදි කටයුතු සිදුකිරීමට සිදුව ඇති බවයි.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදනවල මිල ගණන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් ඉහළ නංවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.
එසේම, ලෝක වෙළදපොලේ මිල ඉහළ යාමට සාපේක්ෂව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද වෙනස් විය යුතු බව ලිට්‍රෝ ගෑස් සමාගම් අද ප්‍රකාශ කළ අතර, ඔවුන් ද ඊට අදාළ මිල සූත්‍රයක් අපේක්ෂා කරනවා.
මේ අතර, ඉහළ දැමූ ඉන්ධන මිලට විරෝධය පළ කරමින් දෙවිනුවර ධීවර ප්‍රජාව ඊයේ විරෝධතාවයක නිරත වුණා.
ඔවුන් දෙවිනුවර දේවාලය පිටුපසින් ආරම්භ කළ විරෝධතා පාගමන පන්දම් දල්වමින් දේවාලය ඉදිරිපිටට පැමිණ අවසන් කෙරුණේ මාතර – කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක ද නිරත වීමෙන් පසුවයි.