Gossips

ගෑස් මිලත් ඉහළ නංවන්න ඉල්ලීමක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළිත් වරක් ඉහළ දැමිය යුතු බවට ලිට්රෝ ගෑස් සමාගම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පසුගිය 11 වන දා පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමේදී මෙම ඉල්ලීම සිදුකළ බවයි එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් සඳහන් කළේ.
පසුගිය ජූනි 29 වනදා කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් සහ කිලෝග්‍රෑම් 5හේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින්ද අඩු කළ අතර, කිලෝග්‍රෑම් 2.5හේ කුඩා ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කරනු ලැබුවේ රුපියල් 25 කින්.
කෙසේ වෙතත්, ලෝක වෙළදපොළේ ගෑස් මිලෙහි වර්තමාන ඉහළ යාමේ ප්‍රවණතාව සැලකිල්ලට ගෙන ගෑස් මිල යළිත් වරක් ඉහළ දැමිය යුතු බවට ඉල්ලීමක් කළ බවයි ලිට්රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුවේදී කතාබහක් පමණක් ඇතිවුවද මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ගෑස් සමාගම් මෙතෙක් ලිඛිත ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.
එවන් ලිඛිත ඉල්ලීමක් ලැබුණු පසු එය සලකා බැලිය හැකි බව ද සභාපතිවරයා ප්‍රකාශ කළා.