වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිය සැමියා බැලීමට පැමිණි කාන්තාවක් ඝාතනය සඳහා පුද්ගලයින් 5 දෙනෙකු යොදවා ඇත්තේ එම බන්ධනාගාරයේ පසුවන රැදවියන් කිහිප දෙනෙකු විසින් බවට මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අදාළ කාන්තාව ඝාතනයට තැත් කළ පුද්ගලයින් 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා.
මෙම කාන්තාව බන්ධනාගාරගතව සිටින සිය සැමියාගේ සුවදුක් විමසා නැවත නිවස කරා යන අවස්ථාවේදී මෙලෙස ඝාතනය කිරීමේ සැලසුමක් ක්රියාත්මක වූ බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිවිල් ඇඳුමෙන් සැරසී වැලිකඩ බන්ධනාගාරය ආසන්නයට ගොස් මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවූ බව සඳහන්.
එම අවස්ථාවේදී බන්ධනාගාරය ඉදිරිපිට ඇති බස් නැවතුම්පොළ ආසන්නයේ සිටි පුද්ගලයෙකු ගැන සැක සිතූ සිවිල් ඇදුමෙන් සැරසී සිටි පොලිස් විශේෂ බලකායේ නිලධාරීන් ඔහු අසළට ගොස් තිබෙනවා.
එහිදී මෙම පුද්ගලයා කිසිවෙකු සමග යෙදී සිටි දුරකථන සංවාදයට සවන්දීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත් වුණා.
මෙම පුද්ගලයා ඝාතන සැලසුමකට පැමිණි අයෙකු බවට හඳුනාගෙන ඇත්තේ එමගින්.
ඒ අනුව ඔහු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණේ සැකකරු පැමිණි යතුරුපැදිය ද සමගයි.
22 හැවිරිදි සැකකරු කඩුවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සතුව තිබූ ජීව අත්බෝම්බයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබුණා.
අනතුරුව සැකකරු සමඟ යතුරුපැදියෙන් පැමිණි තවත් පුද්ගලයෙකු වැලිකඩ බන්ධනාගාරය තුළ සිට පිටතට පැමිණි අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අතර, ඔහු වයස අවුරුදු 23ක් වන මල්වාන ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණ වී තිබෙනවා.
පසුව මෙම සැකකරුගෙන් ලද තොරතුරු මත ඒ ආසන්නයේ නවතා තිබූ ත්රිරෝද රථයක් පරීක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගමන් කරමින් සිටියදී එකවරම ත්රිරෝද රථය දෙමටගොඩ දෙසට ධාවනය කර තිබුණා.
පසුව පළා ගිය ත්රිරෝද රථය පසුපස හඹා ගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙමටගොඩ ගුවන් පාලම අසලදී සැකකරුවන් තුන්දෙනෙකු ත්රිරෝද රථය තුළ සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් සතුව තිබූ මන්නා පිහියක්, හෙරොයින් ග්රෑම් දෙකයි මිලිග්රෑම් 610ක්, පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබූ අතර, සැකකරුවන් මට්ටක්කුලිය ප්රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වුණේ.
මේ වන විට ඔවුන් වැඩිදුර ප්රශ්න කිරීම් සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත භාර දී තිබෙනවා.