Gossips

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 4ක්

දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔ චා, සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර නිළ හමුව ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
දෙරට අතර වෙළඳ සහ තාක්ෂණ සහයෝගීතාවය ඉහළ නැංවීමට අදාළ ද්වි පාර්ශවික කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කර තිබෙනවා.
එසේම දෙපාර්ශවය අතර ගිවිසුම් 4කට ද මෙම හමුවට සමගාමීව අත්සන් තබා ඇති අතර, නීති උල්ලංගණය කරන පුද්ගලයින් හුවමාරුවට අදාළ නෛතික ගිවිසුමක් ද ඊට ඇතුළත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණ ගැසුණා.
ඒ, අරලිය ගහ මන්දිරයේදියි. තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්, ද්වි පාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට එක්ව කටයුතු කිරීමටත් මෙහිදී එකඟත්වය පළ කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
මේ අතර, තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර හමුවක් ද අද කොළඹ දී සිදුකෙරුණා.
ජාතීන් අතර පවතින ගැටළු සඳහා නිසි විසදුම් මෙතෙක් ලැබී නොමැති හෙයින් ඒ සඳහා නිසි විසදුම් ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් රජයට සහය දක්වන බවයි විපක්ෂ නායකවරයා එහිදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.
එසේම තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අද පේරාදෙනිය උද්භිද උද්‍යානය වෙත පැමිණ සිය ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කරමින් ගල් වෙරළු පැළයක් ද රෝපණය කර තිබෙනවා. එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
පසුව ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එහිදී ආගමික වතාවත්වල නිරත වූ බව ද හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.
සිය දෙදින නිළ සංචාරය අවසන් කරමින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.