Gossips

අලි වැටකට එරෙහිව ලූණුගම්වෙහෙර වැසියන් වීථි බසී

තම වගා බිම් ඔස්සේ රජය ඉදිකරන අලි වැටට විරෝධය දක්වමින් ලූණුගම්වෙහෙර – දෙවුරම්වෙහෙර ප්‍රදේශයේ ගම්මාන 4 ක ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් ආරම්භ කළා.
මාතර – වැල්ලවාය ප්‍රධාන මාර්ගය දෙවුරම්වෙහෙර 70 කණුව මංසන්ධියෙන් අවහිර කරමින් මොවුන් විරෝධතාවයේ නිරත වුණා.
මෙම විරෝධතාවය පවත්වන ස්ථානයට ලූණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ අදාළ ගැටලූවට විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වීමත් සමඟ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ගම්වදින වනඅලින් පලවා හැරීම සඳහා පසුගිය සඳුදා ආරම්භ කළ මෙහෙයුම සාර්ථක වුවත්, එලෙස පලවා හරින වනඅලි රඳවා ගැනීම සඳහා ඉදිකළ විදුලි වැටෙහි ගැටලූ කිහිපයක් පවතින බව වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා.
එහි සභාපති එස්.කේ.මහින්ද ඒ සම්බන්ධයෙන් චෝදනා කළේ වනජිවි නිලධාරින්ටයි.
මෙහි වනඅලි පලවා හැරීමේ මෙහෙයුම ආරම්භ වූයේ අදාළ ගොවි සංවිධානය විසින් පසුගිය මස 21 වනදා සිදුකළ උපවාසයෙන් අනතුරුවයි.
එහිදී ප්‍රදේශවාසින් සහ වනජිවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ වනජිවි කාර්යාල නිලධාරින් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් එම මෙහෙයුම තාවකාලිකව නතර කෙරුණා.
කෙසේ නමුත් මෙම වනඅලි එලවීමේ මෙහෙයුමේ දෙවන අදියර ඊයේ ආරම්භ කෙරුණු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
හම්බන්තොට – කටුවැව ප්‍රදේශයේ සහ වරාය ආසන්නයේ රැදී සිටින වනඅලීන් පලවා හැරීම සඳහා අදාළ මෙහෙයුම පැය 7 ක කාලයක් තුළ සිදුකළ අතර එලෙස පලවා හරින වනඅලීන් කළමනාකරණ රක්ෂිතය වෙත යොමුකරනු ලැබුවා.