Gossips

විරෝධතාවලින් පසු නකල්ස් රක්ෂිතයේ ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවයි

නකල්ස් කඳු පෙලට සම්බන්ධ ඇතැම් ව්‍යාපෘති අවලංගු කිරීමට තීරණය කළ බව රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම පවසනවා.
එම ව්‍යාපෘති සඳහා ලබාදුන් ඉඩම් නකල්ස් සංරක්ෂණ කලාපයට අයත් බව අනාවරණය වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹුණු බවයි මධ්‍යම පරිසර අධිකාරියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
නකල්ස් සංරක්ෂිත වනාන්තර කලාපයෙන් 95% ක භූමි ප්‍රදේශයක් රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වන අතර, මෙරට පළමු සංරක්ෂිත වනාන්තරය මෙන්ම 04 වන ලෝක උරුම වනාන්තරයද වන නකල්ස් රක්ෂිතය පිළිබඳව පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇතිවුණා.
ඒ, දේශපාලන මැදිහත්වීම් මත මෙම වටිනා පරිසර පද්ධතිය විනාශවීමේ අවදානමක් මතුව ඇති බවට පරිසර සංවිධාන සහ මාධ්‍ය කරුණු අනාවරණය කිරීමත් සමඟයි.
කෙසේ වෙතත්, පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එම චෝදනා ප්‍රතික්ෂේප කළා.
එහෙත්, පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න කියා සිටියේ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය අසත්‍ය බවයි.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, චන්ද්‍රරත්න පල්ලේගම ඊයේ රැස්වීමක් කැඳවා තිබුණේ නකල්ස් රක්ෂිතය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.
ඊට මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම නකල්ස් රක්ෂිතයට සම්බන්ධ ආයතනවල ප්‍රධානීන්ද එක්ව සිටියා.
එම රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම කියා සිටියේ නකල්ස් රක්ෂිතයේ ඉදිකිරීම් සිදුකරන ව්‍යාපෘතියක් අත්හිටුවීමට තමා උපදෙස් ලබාදුන් බවයි.
කෙසේ වෙතත්, නකල්ස් කඳු පෙලට අයත් සංරක්ෂිත වන කලාපයේ මායිම් සැකසීම මෙතෙක් අවසන් කර නොමැති බවයි අප සිදුකළ කරුණු සොයා බැලීමකදී අනාවරණය වුණේ.
මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි අප මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, චන්ද්‍රරත්න පල්ලේගමගෙන් ප්‍රශ්න කළා.
ඔහු කියා සිටියේ ඊයේ පැවති සාකච්ඡාවේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුව හරහා මැනුම් කටයුතු සිදුකිරීමට සියලූදෙනාම එකඟත්වය පළ කළ බවයි.