Gossips

රට ගමන් ජාවාරම්කාරිය කොටුකළ හැටි

නාවික හමුදා සෙබලෙකු හා එක්ව විදේශ රැකියා ලබා දෙන බව පවසමින් ජනතාවගෙන් රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් වංචාකල කාන්තාවක් නීතියේ රැහැනට කොටුකර දීමට හිරු සී.අයි.ඒ සමත් වුණා.
හිරු සී.අයි.ඒ ලබාදුන් තොරතුරට අනුව අදාල කාන්තාව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ, තවත් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී.
අන්තෝනිසාමි පාක්‍යරාණි නම් මෙම කාන්තාව මේ වනවිට පෙනී සිටින්නේ කාංචනා සෙව්වන්දි යන අන්වර්ථ නාමයෙන්.
ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ධනවත් ව්‍යාපාරික කාන්තාවක් ලෙස පෙනී සිටින ඇය එරට තමන්ට අයත් කර්මාන්ත ශාලාවල රැකියා ලබා ලබා දිය හැකි බව පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් වංචා කිරීම ආරම්භ කර ඇත්තේ 2017 වසරේ සිටයි.
එම වසරේදී මාතර දික්වැල්ල ප්‍රදේශයේ ජෝතිෂ්‍ය කටයුතු සිදුකරන දේවාලයකට පැමිණ ඇති මෙම කාන්තාව එහි පැමිණෙන පිරිස්වල විශ්වාසය දිනා ගනිමින් රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් වංචා කර තිබෙනවා.
මේ වසරේ පසුගිය පෙබරවාරි 28 වැනිදා ඕස්ට්‍රේලියාවේ රැකියා සදහා යෑමට සුදානම් වන ලෙස පවසමින් ඇය තරුණයින් පිරිසක් මුලා කළ අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද ලැබී තිබෙනවා.