Gossips

කැකිරාවේදී බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු දිවි නසා ගැනීමට තැත් කරයි

කැකිරාව කයිලපොතාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඝාතනයට ලක්වූ කාන්තාව කලක් විදෙස්ගතව සිට මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවයි.
ඇයගේ සැමියා විසින් ඝාතනය සිදුකර ඇතැයි අනාවරණ වී ඇති අතර එම සැකකරු ද බරපතල කැපුම් තුවාල සහිතව රෝහල් ගතකර තිබෙනවා.
කාන්තාව ඝාතනය කිරීමෙන් පසු ඔහු ද සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔහුගේ තත්වය බරපතල බැවින් කැකිරාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇතැයි සඳහන්.
මියගොස් ඇත්තේ මාතලේ මඩවලඋල්පත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තිදරු මවක්.
ඇය මීට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ කැකිරාව ප්‍රදේශයේ ඥාති නිවසක නතරවී තිබෙනවා.
එහි සිටි කාන්තාවක් සමග අදාළ නිවසේ දරුවන් දෙදෙනෙකුට ප්‍රතිකාර ගැනීමට රෝහලට ගොස් පැමිණෙන අතරවාරයේ ඝාතනය සිදුව ඇති බවටයි හෙළිවී ඇත්තේ.
කැකිරාව පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශණ සිදුකරනවා.