Gossips

කළකට පසු විග්නේෂ්වරන් ජනපතිට ලියයි

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමඟින් ඔහු විසින් අවධානයට ලක් කර ඇත්තේ උතුරු – නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමට සහ සම්බන්ධීකරණයට පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය පිළිබඳවයි.
ඊට උතුරු පළාත නියෝජනය කරමින් තමා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා පමණක් නම් කර ඇති බව සඳහන් කරන ඔහු, පළාත් ප්‍රධාන ලේකම්වරයාත් රාජ්‍ය නිලධාරියෙකු බව සඳහන් කර තිබෙනවා.
මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය, ජාතික සංහිඳියාව සහ සංවර්ධනය අරමුණු කරගෙන පිහිටවනු ලැබූවත්, එහි සංයුතියට උතුර පළාත් අමාත්‍යවරුන් හෝ පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් නම් කර නොමැති බවයි, ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
උතුර – නැගෙනහිර පළාත්වල ජීවත්වන දෙමළ බස කතා කරන ජනතාවගේ ගැටලූ සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බව පෙන්වා දෙන සී.වී.විග්නේෂ්වරන් එම අයිතිය ලබාදෙන ලෙසද එමඟින් ඉල්ලා තිබෙනවා.
උතුරේ සංවර්ධන කටයුතු සිදුවන බව ජාත්‍යන්තරයට පෙන්නුම් කිරීමට මෙමඟින් උත්සාහ කළත්, පසුගිය වසර 09 ක කාලය තුළ පැවති රජයන්ට දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුවලට විසඳුම් ලබාදීමට නොහැකි වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
උතුර – නැගෙනහිර සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා එම ප්‍රදේශවල ජනතාව තීරණයක් ගත යුතු බවද උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ තවදුරටත් සඳහන්.