Gossips

සීගිරිය මඟ පෙන්වන්නන්ගේ ගැටළුව අවසන්

සීගිරියට ඇතුළු වන සංචාරක මඟ පෙන්වන්නන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් හෙට (11) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව සීගිරි ව්‍යාපෘති අධ්‍යක්ෂ මේජර් අනුර නිශ්ශංක පවසනවා.
සංචාරක මඟ පෙන්වන්නන් සීගිරිය සංචාරක ප්‍රදේශයට අවසර පත් නැතිව ඇතුළු වන බවට ලද පැමිණිලි මත අදාල තීරණය ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඊයේ (09) දිනයේදි සීගිරිය සංචාරක මඟ පෙන්වන්නෙකුට චීන ජාතිකයෙකු පහරදිමේ සිද්ධියත් සමග අද (10) උදෑසන 7 සිට සීගිරි සංචාරක උපදේශක සංගමය විරෝධතාවක නිරත වුණා.
බලපත්‍ර නොමැති චීන ජාතිකයින් 08 දෙනෙකු සමඟ පැමිණි චීන මඟ පෙන්වන්නෙකු සහ මෙරට සංචාරක මඟ පෙන්වන්නෙකු අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, පසුව එය පහරදීමක් දක්වා දිග්ගැස්සී තිබෙනවා.
ඉන් තුවාල ලැබූ මෙරට සංචාරක මඟ පෙන්වන්නා සිගීරිය – කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුල් කර ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
මේ සම්බන්ධයෙන් තමන් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
සිය සංගමයේ සාමාජිකයෙකුට පහරදීමේ සිද්ධියට විරෝධය පල කරමින් සීගිරි සංචාරක උපදේශක සංගමය සීගිරියට ඇතුළු වන ප්‍රධාන ෙදාරටුව අවහිර කරමින් අද විරෝධතාවයක නිරත වුණා.
කෙසේ වෙතත්, විරෝධතාවය ආරම්භ කළ සුළු වේලාවකදී එම ස්ථානයට සීගිරිය පොලීසියේ නිළධාරීන් පැමිණියා.
දඹුල්ල සහකාර පොලිස් අධිකාරිවරයා සමඟ හෙට දිනයේදී ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වීමත් සමඟ අදාල විරෝධතාවය අවසන් කිරීමට සීගිරි සංචාරක උපදේශක සංගමය කටයුතු කළා.
අදාල ගැටළුකාරී තත්ත්වයට අවශ්‍ය කඩිනම් විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි සිගීරි ව්‍යාපෘති අධ්‍යක්ෂ මේජර් අනුර නිශ්ශංක සදහන් කළේ.