Gossips

විජයකලාගේ ප්‍රකාශයක් වරදක් නැහැ – සුමන්දිරන්

එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයේ වරදක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා.
කෑගල්ල – දෙහි ඕවිට ප්‍රදේශයේ ඊයේ (08) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර විජයකලා මහේෂ්වරන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (09) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විසින්.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.
"විජයකලා පසුගියදා ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී විදේශ කටයුතු අමාත්‍යවරයා සිටි අතර, ප්‍රභාකරන් සම්බන්ධයෙන් ප්‍රකාශය සිදුකරද්දී එම ස්ථානයේ දයා ගමගේ අමාත්‍යවරයා සිටියා. මෙම ප්‍රකාශ සිදුකරන අවස්ථාවලදී යහපාලන ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට කොන්ද පණ තිබුණේ නැද්ද මේ සම්බන්ධයෙන් අහන්න. ගමේ ඉන්න සිරියාවතී මෙවැනි ප්‍රකාශයක් සිදුකළා නම් මේ වනවිට ඇය අත්අඩංගුවට ගෙන අවසන්. දැන් විජයකලාගේ රූප යාපනයේ හැමතැනම ඇළවෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිය අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔය කියන ත්‍රස්ත විමර්ශන අංශය අද කොහේද තියෙන්නේ."
කෙසේ වෙතත් යළි ත්‍රස්තවාදය රට තුළ ඇතිවීමට ඉඩ නොතබන බවයි ඊයේ පැවති මාතලේ දිස්ත්‍රික් නිදහස් පක්ෂ බල මණ්ඩලය අමතමින් අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ.