Gossips

අගමැති සිංගප්පූරුව බලා පිටත්ව යයි

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද සිංගප්පූරුව බලා පිටත්ව ගියා.
ඒ සිංගප්පූරුවේ පැවැත්වෙන 6 වන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගිවීම සඳහායි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරයේදී සිංගප්පූරු අගමැති ලී ශින් ලුං, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය තර්මන් ෂන්මුගරත්නම්, සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍ය හා ගෝ චොක් ටොන් ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතයි.
ජුලි 9 වනදා ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේදී "නාගරික සංවර්ධනය සහ පරිසරය සුරැකීම" මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.
මෙවර සමුළුවේ තේමාව වන්නේ "නවෝත්පාදන සහ සහයෝගීතාව තුලින් අනාගතයට සුදුසු තිරසාර නගර ඇති කිරීම" යි.
මනා පරිපාලනය සහ සැලසුම්කරණය, තාක්ෂණය සහ සමාජයීය නව නිපැයුම් මෙන්ම අනෙක් නගර සහ කොටස්කරුවන් සමග මනා සම්බන්ධතා ගොඩනගා ගැනීම තුළින් ජීවත්වීමට සුදුසු නගර නිර්මාණය කර ගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමුවනු ඇති.