Gossips

විජයකලා වෙනසක් ඉල්ලයි

දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන විට ඔවුන් ජාතිවාදීන් ලෙස දකුණේ ඇතමුන් හදුන්වා දෙන බව හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පවසනවා.
ඇය මේ බව කියා සිටියේ අද යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින්. එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු ඇය පළමු වරටයි මෙලෙස ප්‍රකාශයක් සිදුකළේ.
මෙම තත්ත්වය වෙනස් විය යුතු බව ද ඇය කියා සිටියා.
‘‘ ඔයාලා දන්නවා දැන් දකුණේ ඇතැම් අය ජාතිවාදී ප්‍රකාශ ගොඩක් සිදුකරනවා. නමුත් ඔවුන්ට මුකුත් කියන්නෙ නැහැ. අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරනකොට අපිව ජාතිවාදීන් ලෙස හදුන්වනවා. ඒ වෙනස් වෙන්න ඕනා. දකුණේ ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනවිට ඒවා දිහා බලල ඒවා විසදන්න කටයුතු කරනවා. නමුත් අපි අපේ ප්‍රශ්න ගැන කතා කරද්දී අපිව හදුන්වන්නේ දෙමළ ජාතිවාදීන් හැටියට. අපිව එහෙම හැදින්වීම අපි ප්‍රතික්ෂේප කරනවා. ’’
මේ අතර, සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද ප්‍රකාශයක් ලබාදීම සදහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.
ඒ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් කර තිබූ පැමිණිල්ලකට අනුව සාක්ෂි ලබාදීම සදහායි.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංවිධානයේ කැදවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත කියා සිටියේ ඇය එම ප්‍රකාශය මගින් දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කර ඇති බවයි.
එමෙන්ම, හිටපු රාජ්‍ය ඇමතිවරියගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම පිළිබද විමර්ශනයට පත් කළ කමිටුවේ සාමාජික අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද පිළිමතලාව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව ඒ පිළිබදව අදහස් පළ කරමින් කියා සිටියේ ඒ පිළිබදව විමර්ශනය කර ඉදිරි පියවර ගන්නා බවයි.
කෙසේ වෙතත්, සිද්ධියට විරෝධය පළ කරමින් බේරුවල ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ ගාලූපාරට පැමිණ විරෝධතාවක ද නිරත වුණා.