අනුරාධපුර – වන්නියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා ඇති බව උතුරුමැද පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.
පෙරේදා පස්වරු 2.30 ට පමණ වන්නියකුලම් ප්‍රදේශයේදී මෝටර් රථයකින් මෙම පුද්ගලයා ගමන් කරමින් සිටියදී මග හරස් කළ පිරිසක් තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදුකර තිබුණා.
පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස ඝාතනයට ලක්වූයේ වයස අවුරුදු 45ක් වන අනුරාධපුර – විජයපුර මාවතේ පදිංචි කුලී පදනම මත වාහන සපයන පුද්ගලයෙක්.
ප්‍රහාරය සඳහා පුද්ගලයින් හතරදෙනෙකු පැමිණ ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මියගිය පුද්ගලයාගේ බිරිඳ චෝදනා කරන්නේ තම දියණියට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකුට කළකට පෙර සිදුකළ පහරදීමකට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
කෙසේ වෙතත් උතුරුමැද පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ පාර්ශවයට සහ ඝාතනයට සම්බන්ධ පාර්ශවය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මීට පෙරද ලැබී තිබූ බවයි.