Gossips

අධිකරණය විජයකලාගේ, සම්පූර්ණ හඬ පටය ගෙන්වයි

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරුන් හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා.
එසේම එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ඇය සිදුකළ ප්‍රකාශය ඇතුළත්, සංස්කරණය නොකළ දර්ශන පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත ලබාදෙන ලෙස අද අධිකරණය නියෝගයක්ද ලබාදුන්නා.
පසුගිය 02 වැනිදා යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකළ අතර, ඊට පසු දිනම අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කෙරුණා.
සිංහල රාවය සංවිධානය විසින් සිදුකරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය ඒ පිළිබඳව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.
එම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මාධ්‍ය ආයතන 05 ක ප්‍රධානීන් වෙත විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ දර්ශන ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරුන් 04 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් අද පත් කළා. ඊට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අකිල විරාජ් කාරියවසම්, පක්ෂ සභාපති කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල යන අමාත්‍යවරුන් ඇතුළත්.
එමෙන්ම, සිංහල රාවය සංවිධානය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ලිපියක් භාරදෙනු ලැබුවා.
ඉන් අනතුරුව එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු පිරිස පොලිස් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට පැමිණියා.
ඒ, උන්වහන්සේ විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුවයි.
මේ අතර, හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට අදත් ප්‍රදේශ කිහිපයක පළාත් පාලන ආයතන නියෝජිතයින් විරෝධය පළ කළා.
එසේම, උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමතිවරියට සහයෝගය පළ කරමින් පෝස්ටර් කිහිපයක් ප්‍රදර්ශනය කර තිබූ බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.
මේ අතර, හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය අනුමත කරමින් උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් සිදුකර ඇතැයි පැවසෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද වහාම රටේ ව්‍යවස්ථාව හා නීතියට අනුකූලව පියවර ගත යුතු බව ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
ප්‍රභාකරන්ගේ සමයේ දෙමළ ජනතාව බියෙන් සැකෙන් තොරව ජීවත් වූ බවත්, ඇත්ත ප්‍රකාශ කළ විජයකලා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම අසාධාරණ බවත් ඔහු ප්‍රකාශ කර ඇති බවයි ජාතික හෙළ උරුමය අදාළ නිවේදනයෙන් දක්වා ඇත්තේ.