Gossips

විජයකලා ගැන විමර්ශනයට එජාපයෙන් කමිටුවක්

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පසුගිය දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය කමිටුවක් පත් කර තිබෙනවා.
පක්ෂ මහලේකම්, අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම් සහ රංජිත් මද්දුමබණ්ඩාර මෙන්ම තලතා අතුකෝරළ යන අමාත්‍යවරුන් ඊට ඇතුළත්.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගිය දා ඇය ප්‍රකාශ කළ අතර ඒ හේතුවෙන් ඊයේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වුණා.
මේ අතර එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශ කළ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට එරෙහිව ගත හැකිව තිබූ ඉහළම ක්‍රියාමාර්ගය තමන් මේ වනවිට ගෙන ඇති බව කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා.
ඒ, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යොමුකළ පැනයකට පිළිතුරු ලෙසයි.
එහිදී කතානායකවරයා කියා සිටියේ ඇය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.
මේ අතර හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පසුගියදා සිදුකළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ හඬපට සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද (06) මාධ්‍ය ආයතන 5 කට නියෝග කළා.
ඒ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිංහලරාවය සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සිදුකළ පැමිණිල්ලට අනුවයි.
ඒ සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය අද අධිකරණයට කරුණු වාර්තා කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.