Gossips

ඉහළ දැමුණු ඉන්ධන මිල නිසා, බස් සංගම් ගාස්තු වැඩිවීමක් අපේක්ෂාවෙන්

ඉහළ දමන ලද ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බව බස් සංගම් පවසනවා.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් සදහන් කළේ මිල ඉහළ දැමීමත් සමග දිනකට කෙටි දුර ගමන් සේවා සදහා රුපියල් 500 ත් 750 ත් සහ දුර ගමන් සේවා සදහා රුපියල් 1200 ත් 1500 ත් අතර පාඩුවක් දැරීමට බස් හිමියන්ට සිදුවන බවයි.
ඉන්ධන මිල සූත්‍රයට අනුව, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඞීසල් ලීටරයක මිල රුපියල් 9 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තා.
ඒ සදහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ද අනුමැතිය හිමිවූ බවයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.
කෙසේ වෙතත්, ඊයේ සිදුකළ මිල සංශෝධනයේදී භූමිතෙල් මිලෙහි සංශෝධනයක් සිදුකෙරුණේ නැහැ. ඉදිරියේදීත් භූමිතෙල් මිලෙහි ඉහළ යාමක් සිදු නොවන බවයි මිල සූත්‍ර කමිටුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
දැනට පවතින මිල සූත්‍රයට අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල සංශෝධනය වන අතර, ලබන සැප්තැම්බර් 5 වන දින යළි ඉන්ධන මිල සංශෝධනය සිදුකෙරෙනවා.
පසුගිය මැයි මස 10 වැනිදා පෙට්‍රල් ලීටරයක රුපියල් විස්සකින් ඉහළ දැමුණා.
එදින ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 14 කින් ඉහළ දැමුණු අතර, සුපර් ඞීසල් ලීටරයක මිල ඉහළ දැමුවේ රුපියල් 9 කින්. කෙසේ වෙතත්, නව මිල ගණන් අනුව බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ.
ත්‍රිරෝද රථ හිමියන් පවසන්නේ මිල සංශෝධනයක් සිදුවුව ද ත්‍රිරෝද රථවල ගමන් ගාස්තුවල වෙනසක් සිදුනොවන බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ කැදවුම්කරු සුදිල් ජයරුක් කියා සිටියේ.
කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් පහත දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම්දීමක් සිදුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.