Gossips

8 වන පාර්ලිමේන්තුවේ නව සැසි වාරය අදයි

8 වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද පස්වරු 2.15 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
ඒ සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බවයි නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල අප කළ විමසීමකදී කියා සිටියේ.
සැසිවාරය විවෘත කිරීමට ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලියක් සහ පොලිස් යතුරුපැදි කණ්ඩායමක්, අශ්වාරෝහක කණ්ඩායමක් පෙරටුකරගනිමින් පාර්ලිමේන්තුව අභියසට පැමිණෙන ජනාධිපතිවරයා, කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් පිළිගැනීමට නියමිතයි.
ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භය වෙත කැඳවාගෙන යාමට නියමිතව ඇත්තේ.
ඒ සමඟම සෙංකෝලය රැගත් වේත්‍රධාරීවරයාද පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසීමට නියමිතව තිබෙනවා.
සම්ප්‍රදායානුකූලව සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන අතර එහිදී පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමේ සහ කැඳවීමේ ප්‍රකාශන පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් සභාවට ඉදිරිපත් කරනු ඇති.
ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ මෙන්ම සිවිල් සමාජය තුළද ජනාධිපතිවරයා සිදුකිරීමට නියමිත කථාව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා.
බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව එංගලන්තයේ පාර්ලිමේන්තුව කල් තබා නැවත ආරම්භ වනවිට මහ රැජිණ විසින් පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනු ලබනවා.
එය හැඳින්වෙන්නේ රාජාසන කථාව ලෙසයි.
1948 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කරන අවස්ථාවේ රාජ්‍ය නායකයා විසින් සිදුකරන ලබන කථාව හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව ලෙසයි.
එසේම එම කතාව ඉදිරිපත් කිරීමෙන් පසු අවශ්‍ය නම් ඡුන්ද විමසීමක් ඉල්ලා සිටීමටද සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රතිපාදන පැවතුණා.
මෙලෙස පාර්ලිමේන්තුව කල් තබා යළි ආරම්භ කළ එක් අවස්ථාවක පැවති රජය ඡන්ද විමසීම පරාජයට පත්වීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවක්ද ඉතිහාසයේ සඳහන් වනවා.
ඒ, 1964 දෙසැම්බර් 3 වනදායි. එදින අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ සභාග රජයේ රාජාසන කථාව පරාජයට පත්වීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරුණා.
වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එහි රාජාසන කථාවක් පිළිබඳව සඳහන් වන්නේ නැහැ.
කෙසේ වෙතත් රාජ්‍ය නායකයාට සැසිවාරයක් ආරම්භ කිරීමේදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් හෝ සාමාන්‍ය ප්‍රකාශයක් සිදුකළ හැකියි.
ප්‍රතිපත්ති ප්‍රකාශයක් සිදුකරන්නේ නම් ඡුන්ද විමසීමක් ඉල්ලා සිටීමටද හැකියාවක් පවතිනවා.
එසේ වුවද පසුගිය සතියේ පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් තීරණය කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ කථාව සම්බන්ධයෙන් අනිද්දා දිනයේදී කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටයි.
ඒ අනුව ඡන්ද විමසීමක් සිදු කිරීමේ අවස්ථාවක් නොමැති බවයි ව්‍යවස්ථා විශාරදයන් පෙන්වා දෙන්නේ.