Gossips

71 වන ජාතික නිදහස් දිනය අදයි – නිදහස් දින සැමරුම් උත්සවයට සියල්ල සූදානම්

අභිමානවත් 71 වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ 71 වන ජාතික දින උත්සවය අද පෙරවරුවේ කොළඹ – ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ජාතික දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධීපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි එක්වනු ඇති.
ජාතික දින සැමරුමට සමගාමීව අද (04) පෙරවරුවේ සර්වආගමික වතාවත්ද පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මේ අතර ගාලුමුවදොර පැවැත්වෙන ප්‍රධාන ජාතික දින උත්සවයට සමගාමීව අද පෙරවරු 7.30 ට කොළඹ – ටොරින්ටන් හි පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමද සිදු කෙරෙනවා.
ජාතික දින සැමරුම් උත්සවය ආරම්භවීමට නියමිතව ඇත්තේ පෙරවරු 8ටයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි සහ ජනාධීපති මෛත්‍රිපාල සිරිසේනගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරෙන අතර, රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ විරුවන් සිහි කිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවක්ද පැවැත්වෙනවා.
ජාතික දින සමරු උත්සවය ජනාධිපතිවරයා විසින් අමතනු ලබන්නේ පෙරවරු 9.13 ටයි.
මෙවර ජාතික දින උත්සවය ආචාර පෙළපාලි සහ සංස්කෘතිකාංග රැසකින් සමන්විත අතර, නර්තන සහ වාද්‍ය ශිල්පීන් 856 දෙනෙකු සහභාගිවන සංස්කෘතික පෙරහරක්ද ඊට ඇතුළත්.
උළෙලේ ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 5848 ක් යොදවා ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළා.
ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරින් 3872 දෙනෙකු ආචාර පෙළපාලිය සඳහා එක්වීමට නියමිතයි.
ගුවන් හමුදාව නියෝජනය කරන නිලධාරින් 932 දෙනෙකු එක්වන අතර, නාවික හමුදාව නියෝජනය කරමින් හමුදා නිලධාරින් 1044 දෙනෙකු ආචාර පෙළපාලියට එක්වන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ.
මීට අමතරව, පොලීසිය නියෝජනය කරමින් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් නිලධාරින් 920 ක් එක්වීමට නියමිතයි.
ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරමින් සාමාජිකයින් 302ක් මෙවර ජාතික දින ආචාර පෙළපාලිය සඳහා එක්වනු ඇති.
එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින සංවර්ධන හා පර්යේෂණ මණ්ඩලය මගින් නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයක් 71 වන ජාතික දින සැමරුම් උත්සවයේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
බැරල් 10කින් සමන්විත මෙම රොකට් විදිනය මගින් කිලෝමීටර් 15ත්, 20ත් අතර පරාසයක පිහිටි ඉලක්ක වෙත පහර දිය හැකි අතර, රොකට් විදිනය මෙන්ම ඊට භාවිත කරන රොකට් උණ්ඩ ද මෙරට නිපදවීම විශේෂත්වයක්.
මේ අතර, ජාතික දින සැමරුම් උත්සවය වෙනුවෙන් අද අලුයම 5 සිට ගාලුමුවදොර පිටිය ආශ්‍රිත විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මයි.
ඒ අනුව, කොල්ලුපිටිය මංසන්ධියෙන් ගාලුමුවදොර පිටිය දෙසට පිවිසෙන මාර්ගය රථ වාහන ගමනාගමනය සඳහා වසා තැබෙනවා.
එම රථ වාහන කොල්ලුපිටිය මංසන්ධියෙන් දකුණට හැරී, පුරහල ඔස්සේ කොළඹ කොටුව දෙසට පැමිණිය හැකි බවයි පොලීසිය කියා සිටියේ.
කොළඹ කොටුවේ සිට ලෝටස් වටරවුම ඔස්සේ ගාලුමුවදොර පිටිය දෙසට පිවිසෙන ලෝටස් මාර්ගය වසා තැබෙන අතර, එම රථ වාහන සඳහා ද විකල්ප මාර්ගයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, එම රථ වාහන පංචිකාවත්ත, මරදාන ඔස්සේ කොල්ලුපිටියට පැමිණ යළි ගාලුපාර හා සම්බන්ධ විය හැකියි.