Gossips

70 වන නිදහස් සැමරුමට ලෝක නායකයින්ගෙන් සුබ පැතුම්

හෙටට යෙදෙන අභිමානවත් 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් ලෝක නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සුබ පැතුම් එක්කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් වී ඇති බව සඳහන් කරමින් දෙවන එලිසබෙත් මහ රැජිණ විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම ඵෙතිහාසික මොහොතට සහභාගිවීමට නොහැකි වීම පිළිබඳව කණගාටුව පළ කර ඇති මහ රැජිණ මෙම අභිමානවත් අවස්ථාවට බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු වන එඞ්වඩ් කුමරු සහ එම කුමරිය සහභාගි කර ඇති බවද එම පණිවුඩයේ සඳහන්.
ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව, සංහිඳියාව, වගවීම සහ යුක්තිය සපිරි රාජ්‍යයක් බවට පත්වෙමින් ඇති මේ මොහොතේ එළැඹෙන 70 වන නිදහස් සැමරුමට සුබ පැතුම් එක්කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපතිවරයා වෙත විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ද නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පැතුම් පණිවුඩයක් යොමුකරමින් ශ්‍රී ලංකාව හා රුසියාව අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම මේ මොහොතේ තම අදිටන යැයි ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
චීන ජනාධිපති ෂී ජින් පින් විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සාම්ප්‍රදායික මිත්‍රත්වය වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඉතා ප්‍රායෝගික අන්දමින් ක්‍රියාත්මක වන බවයි.
අභිමානවත් 70 වන නිදහස් සැමරුමට ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාද සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.
එමෙන්ම, තුර්කි ජනාධිපති රිසෙප් අර්ඩවාන් මෙරට නිදහස් සැමරුම වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාව හා තුර්කිය අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් තමන් නුදුරු දිනයකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බවද සඳහන් කර තිබෙනවා.
මේ අතර, 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් හෙට දිනයේ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.