Gossips

61 දෙනෙකු බිළිගත් දුම්රිය අනතුරේදී රාවණාත් දුම්රියට බිලිවෙයි

පුද්ගලයන් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් නුවර සිදුවු දුම්රිය අනතුර නොසැලකිල්ල නිසා සිදුවූ බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
පසුගිය සිකුරාදා රාත්‍රියේ දුසේරා උත්සවයට සමගාමීව රාවණා රජුගේ අනුරුවක් පුළුස්සද්දී දුම්රිය මාර්ගයේ සිටි ජනයා යටකරගෙන දුම්රියක් ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුවුණා.
එහි ප්‍රධාන ආරාධිතයා වූයේ කොංග්‍රස් පක්ෂයේ මහජන නියෝජිතවරියක වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නව්ජෝත් සිං සිධුගේ බිරිඳයි.
මල් මාලා පැළඳ වූ ඇය අසල වේදිකාවේ සිටි උත්සවයේ සංවිධායකයෙකු ප්‍රකාශ කර ඇත්තේ දුම්රිය 500ක් ගමන් කළද ජනයා එම ස්ථානයේ සිට උත්සවය නරඹනු ඇති බවයි.
එමෙන්ම, මෙම දුසේරා උත්සවය සඳහා අම්රිත්සාර් නගර සභාවෙන්, පරිසර දෙපාර්තමේන්තුවෙන් හෝ ඉන්දීය දුම්රිය බලධාරීන්ගෙන් අවසර ලබාගෙන නොමැති බව හෙළි වී තිබෙනවා.
ප්‍රධාන ආරාධිත තැනැත්තිය වූ සිධුගේ බිරිඳ කවූර් සඳහන් කර ඇත්තේ තමන් සහභාගි වන සියළු උත්සව සඳහා අවසර ලබාගෙන ඇත්දැයි පරීක්ෂා කළ නොහැකි බවයි.
කෙසේ නමුත්, මෙම සිද්ධියෙන් පසු උත්සවයේ සංවිධායකයන් පළාගොස් ඇති බව වාර්තා වනවා.
මේ අතර, අම්රිත්සාරයේ දුසේරා උත්සවයේ රාම් – ලීලා රංගනයේදී රාවණා ලෙස රඟපෑ පුද්ගලයාද දුම්රියට බිලි වී ඇති බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.
සිකුරාදා රාත්‍රි 07 ට පමණ රාවණාගේ අනුරුවට ගිනි තැබීමෙන් පසු වේගයෙන් පැමිණෙන දුම්රියක් දුටු එම රංගනයේ රාවණා ලෙස රඟපෑ දල්බීර් සිං දුම්රිය මාර්ගය ඉදිරියට දිවගොස් ඇත්තේ එය නවත්වන ලෙස සංඥාවක් කිරීමටයි.
එහෙත් දුම්රිය ඔහුද යටකරගෙන ඉදිරියට ගමන් කර තිබෙනවා.