Gossips

5 ශිෂ්‍යත්වය අනිවාර්ය කෙරෙන චක්‍රලේඛය අවලංගු කිරීමට පියවර

5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ පැවති උත්සවයකටස එක්වෙමින්.
අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ පත්කරනු ලැබූ සමාලෝචන කමිටුවේ නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින්.
මෙම කමිටුව අධ්‍යාපනඥයින්, ළමා මනෝවිද්‍යාඥයින්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු විද්වතුන් පිරිසකගෙන් සමන්විතයි.
ඔවුන් අද උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් වූ අතර එහිදී ශිෂ්‍යත්ව විභාගයේ ආරම්භක අරමුණු සහ වර්තමානයේ එය දරුවන් පීඩාවට පත් කරන තරග විභාගයක් බවට පත්වීම පිළිබඳ දීර්ඝ වශයෙන් අවධානයට ලක්ව තිබෙනවා.
ශිෂ්‍යත්ව විභාගය අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ අරමුණින් සහ පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ඉඩකඩ සලසමින් ආරම්භ වූ ආකාරය, වර්තමානයේ දී එම අරමුණු සියල්ල බැහැර කරමින් ජනප්‍රියතම ජාතික පාසල් 120 කට ආසන්න ප්‍රමාණයකට ලක්ෂ 3 කට අධික දරුවන් පිරිසක් ඇතුළත් කිරීමේ බරපතල හිංසාකාරී විභාගයක් බවට පත්ව ඇති ආකාරය අදාළ කමිටුවේ අවධානයට ලක්ව තිබෙනවා.
මීට අමතරව උපකාරක පන්ති හරහා කුඩා දරුවන් තවදුරටත් මානසික පීඩනයට ලක්වන බවත්, සමබර පෞරුෂයකින් හෙබි පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ දී ඔවුන්ගේ සමාජානුයෝජන කාර්යයට මෙම තරගකාරි විභාග මානසිකත්වය අහිතකර ලෙස බලපා ඇති බව ද ඔවුන් පෙන්වා දී ඇතැයි සඳහන්.
ශිෂ්‍යාධාර සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයකට ආසන්න වන අතර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පමණක් වැය වන මුදල රුපියල් කෝටි දෙකකට ආසන්න බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම තත්ත්වය තුළ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු රැසක් ඉදිරියේ දී ගැනීමට නියමිත අතර විද්වත් කමිටුවේ නිර්දේශයන්ට අදාලව එක් තීරණයක් ලෙස සියලුම සිසුන්ට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය කර තිබූ චක්‍රලේඛය අවලංගු කිරිමට තීරණය වී තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ ශිෂ්‍යාධාර අපේක්ෂා නොකරන සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසල් අපේක්ෂා නොකරන සිසු දරුවන් පවා ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටිම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරිත්වය තවදුරටත් ඉහළ යා‍ම සහ දරුවන් මතට පැටවෙන අනවශ්‍ය බර ප්‍රමාණය වැඩි වීමයි.
ඒ අනුව ඉදිරියේ දී කැමැත්ත අනුව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිම හෝ නොසිටීම තීරණය කිරිමට ඔවුන්ට අවකාශය හිමිවනු ඇති.
ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කර තිබු චක්‍රලේඛය අවලංගු කිරීමට අමතරව ශිෂ්‍යත්ව විභාගයේ ව්‍යුහය, එය පැවැත්වෙන ශ්‍රේණිය හා පැවැත්වෙන අරමුණු ඇතුලු කරුණු රැසක් පිළිබඳ කමිටුවේ අවධානය ‍යොමු වි ඇති අතර ඉදිරියේ දී ඒ සම්බන්ධ නිර්දේශයන් ද අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.