රටම බලා සිටින 2019 වසරේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරුවන් සහ භෞතචිකිත්සක එක්ව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සිටින ක්‍රීඩකයන් 25 දෙනා අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම සඳහා මීට මාස හයක සිට ලෝක කුසලානට සහභාගි වන ක්‍රීඩකයන් අවම වශයෙන් ඉදිරියට ඇති තරග 15-20 ක් අතර ප්‍රමාණයක් ක්‍රීඩා කිරීම අනිවාර්ය බව තේරීම් කමිටුවේ සහ පුහුණුකරු චන්දික හතුරුසිංහගේ මතය වූවා.
මේ අතර ඉදිරියේදී ක්‍රීඩකයන් ආබාධවලින් තොරව තරඟවලට ක්‍රීඩා කිරීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
ලෝක කුසලාන සඳහා ඇති මාස 11 ක කාලයේදී ශ්‍රී ලංකා පිලට ටෙස්ට් තරගවලට අමතරව දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ යළිත් දකුණු අප්‍රිකාව සමග වශයෙන් එක්දින තරග 20 ක් සහ විස්සයි විස්ස තරග පහක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
මීට අමතරව ලබන සැප්තැම්බර් මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආසියානු කුසලාන තරගාවලියටද ශ්‍රී ලංකාව සහභාගි වනු ඇති.
අනතුරුව දකුණු අප්‍රිකාව සමග එක්දින තරග පහක් සහ විස්සයි විස්ස තරගයක් ශ්‍රී ලංකාවේදීත් එංගලන්තය සමඟ එක්දින තරග පහක් සහ විස්සයි විස්ස තරඟයක් ශ්‍රී ලංකාවේදීත් අනතුරුව දකුණු අප්‍රිකාව සමග එක්දින තරග පහක් සහ විස්සයි විස්ස තරග තුනක් ලබන පෙබරවාරි මස දකුණු අප්රිකාවේදීත් වශයෙන් ශ්‍රී ලංකාව ලෝක කුසලානට පෙර සහභාගි වනු ඇති.
කණ්ඩායමේ ස්ථානය අහිමිව ඇති ලසිත් මාලිංග සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපතිවරයා පළකරන්නේ මෙවන් අදහසක්.
"අපි ලෝක කුසලාන තෝරන ක්‍රීඩකයන්ව දැන් ජාතික කණ්ඩායමට 'ඒ' කණ්ඩායමට වශයෙන් ක්‍රීඩා කරවනවා. උපුල් තරංගත් 'ඒ' කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ ඒ සැලැස්ම අනුව. ජ්‍යෙෂ්ඨ සහ නවක ක්‍රීඩකයන් සෑම දෙනාම එහෙම තමයි කළමනාකරණය කරලා හොඳම සංයුතිය තෝරන්නේ. ලසිත් මාලිංගටත් මම ඒ බව දන්වලා තියෙනවා. අපි පළාත් තරගාවලිය ක්‍රීඩා කරන්නත් මාලිංගට ආරාධනා කළා. පුහුණුකරු චන්දික හතුරුසිංහ කිව්වොත් අන්තිම ඕවර ටික දාන්න මාලිංග වගේ කෙනෙක් අවශ්‍යයි කියලා එයාට දකුණු අප්‍රිකානු එක්දින තරගාවලිය ක්‍රීඩා කරන්න අවස්ථාවක් තියේවි. අපි විස්සයි විස්ස විතරක් නෙමෙයි එක්දින සහ විස්සයි විස්ස දෙකම ගහන කට්ටියට තමයි අවස්ථාව දෙන්නේ. නමුත් දැන් ආබාධයට ලක්වූ ක්‍රීඩකයන් සියලු දෙනාම වගේ නැවත සුව අතට හැරෙමින් තියෙන්නේ. අපේ තණතීරුත් මන්දගාමී තණතීරු. ඒ නිසා ඒ සම්බන්ධයෙන් තීරණයක් දැන්ම කියන්න බැහැ"
ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන සහ කසුන් රාජිත යන වේග පන්දු යවන්නන් සමඟ ලසිත් මාලිංග කණ්ඩායමට පැමිණීමට වර්තමානයේ තියුණු සටනක නිරතවීමට සිදුව තිබෙනවා.
එක්දින තරඟ 204 කදී කඩුලු 301 ක් දවා ගත් 34 හැවිරිදි ලසිත් මාලිංග ආබාධ සහ වෙනත් හේතුන් මත 2017 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව එක්දින තරගයක් ක්‍රීඩා නොකිරීමද විශේෂත්වයක්.